Tuesday, February 22, 2011

ගරායකාගේ දෙවන බ්ලොග් ලිපිය!

ඇත්තමයි යකාට නම් දැන් මාර සතු‍ටුයි! දැන් ඔය නරයෝ බලාවී මොකෝ යකෝ මේ යකාට හිටි ගමන් චූන් එකක් ගියේ කියලා! ඒක හේතුවත් ඔය නරයොම තමා. යකා හා හා පුරා කියලා පළවෙනි බ්ලොග් එක ලියලා තාම දවසයි ගියෙ, ඒත් මොකෝ දැනටම නරයෝ දහ අටදෙනෙක් යකාගේ පස්සෙන් එනවා, හොඳ ප්‍රතිචාරත් ලැබුනා. ඉස්සර නම් යක්කු තමා නරයන්ගේ පස්සෙන් ගියේ, ඒකට දැන්, කිසි ලජ්ජා බයක් නැතුව යක්කු පස්සෙන් නරයෝ එනවා! මෙහෙම ගියොත් ඉස්සරහට තොවිල් නටන්ට වෙන්නේ නරයට බයවෙච්ච යකාට! හබැයි ඉතින් මගේ පස්සෙන් නම් නරයො එනවට මේ යකා බොහෝම කැමතියි.

මමත් ඉතින් යකෙක් විදිහට නරයෝ පස්සෙන් යන්න මාර ආසයි. හැබැයි ඔය පස්සෙන් යන වැඩ වලට දස්සයා නම් අපේ කලුවා! කලුවා කිව්වේ අපේ කලුකුමාරයට. මම කලින් ලිපියෙත් කිව්වනේ එයගේ හැටි, ලස්සන ගෑණු ළමෙක් දැක්කොත් ඉතින් දවසම එයා පස්සේ තමා! ඕකත් ෆුල් ජොලි නම් තමා, හැබැයි ඉතින් පස්සෙන් යනවා අපෙ සුදුචූටි එහෙම දක්කොත් අනේ ඉඳලා ඉවරයි! (සුදුචූටි කිව්වේ මගේ 'එක්කෙනානේ!') දන්නැද්ද ගැනු අයට තරහ ගියම කියන්නේ අපෝ එයා නම් යකින්න වගේ කියලනේ, ඉතින් හිතා ගන්ටකෝ ඇත්තටම යකින්නියෙක්ට තද උනාම! හරියට හිරෝෂිමාවට බෝම්බ ගහුව වගේ නෙව! ආ දැන් මම කිය කිය හිටියෙ මොකක් ගැනද, හරි හරි මේ පස්සෙන් යන එක ගැනනේ (සුදුචූටි ගැන කිව්වම ඒකත් අමතක උනා!) මමත් ඔය නරයන්ගේ පස්සෙන් එන්න බොහෝම ආසයි, වෙලා ලැබෙන හැටියකට ඔය නරයන්ගේ බ්ලොග් වලටත් ඔලුව දාලා පස්සෙන් එන්ට පටන් ගන්නම්කෝ. අපි දවස පුරාම කෑම හොයන්ට යන්න ඕනිනේ ඉතින් මේ වැඩ වෙලට බොහෝම පොඩි ඉඩයි ලැබෙන්නේ, යක්කු උනාම ඔය නරයන්ට වගේ තේ කඩයක් කියලා එකක්වත් නෑ නොවැ,  මොකෝ අපේ කෑම විකුනනව කියලයෑ! අපි සෙල්ෆ් සර්විස්! අනික දැන් කෑමත් හිඟයි..කෑම හොයන්න ගිහින් උනු කතාත් පස්සේ වෙලාවක කියන්නම්කෝ.

එහෙනම් යකා අදට නවතින්නයි හදන්නේ. ඔය නරයන්ට බොහෝම ඉස්තුතියි යකාගෙ පස්සෙන් එනවට. ඒ වගේම යකාගෙ ලිපි ගැන අදහසුත් ලියලා දන්න. ගල්, මුල්, මල් ඔය හැම අදහසක්ම යකා බොහෝම අසාවෙන් කියෝනවා. එහෙනම් ඕන් කොස් අත්තකුත් කඩාගෙන කොරහත් බිඳගෙන යකා යන්ටයි හදන්නේ. ආවඩා ආයුබෝ!!

Monday, February 21, 2011

ගරායකාගේ බ්ලොග් සම්ප්‍රාප්තිය!

යකෙක් වෙලා ඉන්න එකත් ලේසි නෑ. නරයන්ට නම් කම්මැලි කම නැති කරගන්ට ෆේස්බුක් එකවත් තියෙනව නොවැ, එකට අපිට... කම්මැලි කම නැති කරගන්න කරන්න මෙලෝ දෙයක් නෑ! ආ වැරදුනා නෙව, මෙලෝ නෙමේ එලෝ දෙයක් නෑ! හැබැයි මම මෙහෙම කිව්වට අපේ සමහරුන්ට නම් දේවල් තියෙනවා. දැන් කාටද මේ අපේ කිව්වේ? අපේ කිව්වේ මගේ යාලුවො ටිකටනේ! මහසෝනා, රීරී යකා, සොහොන් යකා, කලුකුමාර, සර්වභුත, කුරුම්බර, කොටකුමාර වගේ අය තමා! තේරෙන භාෂාවෙන් කිව්වොත් ඔක්කොම යක්කු! හපොයි තව ඩින්ගෙන් අමතක වෙනවා! ඇයි අපේ බොස්! වෙසමුනි රජ්ජුරුවෝ! එයත් ඉන්නවා.

සොහොන් යකා කම්මැලි වෙලාවට කරන්නේ බො‍රැල්ල කනත්තේ සොහොන් කොත් චෙක් කරන එක! හැබැයි මට නම් ඒකේ මෙලෝ රහක් නෑ! ඒකට අපේ කලුකුමාර, අන්න යක්කු, එයා කරන්නේ අහැට කනට පේන (කනට පේන!) ලස්සන ගෑනු ළමෙක් දැක්කම එයා ඉස්සරහ පොඩි බ්‍රේක් ඩාන්ස් පාරක් දාලා, ඊට පස්සේ එකට තියෙන තොවිලෙත් එන්ජෝයි කරලා කුකුලෙක් ගෙන් සන්තෘප්ත වෙලා එන එක!! ඕකට නම් මගෙත් අකමැත්තක් නෑ! දැන් මම මොනවද කම්මැලි කම නැති කරගන්ට කරන්නේ?............... හරි ඔයලා හිතපු එක හරියට හරි!! මම බ්ලොග් ලියනවා!

මම නරපණුවන්ගේ ලොකේ තියෙන විකාර වැඩ වගේම අපේ කට්ටියට වෙච්ච දේවලුත් ඉස්සරහට කියන්නම්කෝ! දැනට මේ මදැ නේද!